Tuesday, July 23, 2013

පෙරට එමු

ඉතින් යාලුවනේ කොහොමද?මේ දවස් වල වැඩ නම් හොදටම වැඩියි.එත් අලුතෙන් ලියන්න හිතුන .බ්ලොග් ලෝකේ ලොකු නිහඩතාවයක් මට නම් පේනවා.මං දන්නේ නැහැ ඇයි  කියලා.කොහොම උනත් මන් ප්‍රොපෙෂනල් බ්ලොග් ලියන කෙනෙක් නොවුනත් බ්ලොග් ලියන කෙනෙක්  විදියට රටේ තත්වය ගැන ජනතාව අවදියෙන් තැබිය යුතුයි කියල හිතෙනවා.මේ මොහොත කියන්නේ රටේ දූෂිතයන් රජ කරද්දී සමාජ සාධාරණත්වය පුද්ගල  නිදහස ගැන කතා කරන ඒ වෙනුවෙන් හඩ  නගන මිනිස්සුන්ව හිර කරන්න මර්දනය කරන්න මේ රටේ පාලකයෝ උත්සහ කරන මොහොතක්.උදාහරණයක් විදියට අන්තරේ කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා සිරගත කිරීම දක්වන්න පුළුවන්.ඔහුව සිරගත කලේ කුමක් කිරීම වෙනුවෙන්ද?කුඩු ජාවාරම් කිරීම වෙනුවෙන්ද?ස්ත්‍රී දූෂණ කිරීම නිසාද? එහෙම නැත්තම් එළිපිට මිනීමරපු නිසාද?නැහැ.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටපු නිසා.මේ රටේ දුක් විඳින සුවහසක් දෙමාපියන්ගේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කරපු නිසා.අද දවසේ සටන් කරන මිනිස්සුන්ට වෙන්නේ ඔය දේ.එක්කෝ හිරගෙදර තපින්න වෙනවා.නැත්තම් මහමග මැරුම් කන්න වෙනවා.මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි.සටන් කරන ජනතාව මර්දනය කරන එක පවතින ක්‍රමය  ප්‍රශ්න කරණ මිනිස්සු මර්දනය කරන එක ඉතිහාසයේ ඉඳන්ම පාලකයන්ගේ හැටියක්.සොක්‍රටීස්ට වස දුන්නේ,ජේසුතුමාට ඇන ගැහුවේ,ගැලීලියෝව හිර කලේ,බ්රූනොව පුච්චලා මැරුවේ ඒකයි.එහෙම මරාදාලා හිර කරලා කවදාවත් සත්‍ය යටපත් කරන්න බැහැ.
පොලීසිය,උසාවිය,නීතිය,හමුදාව මේ හැමදෙයක්ම ධනපති පාලකයෝ උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කරගත්තු ආයුධ.උන් ධනපති හාම්පුතුන් විසින් ඇති කරන දඩ බල්ලෝ.ජුලියස් ෆුචික් කියන මාධ්‍යවේදියා(ඔහුව නාසි පාලන සමයේදී හිට්ලර් විසින් මරා දැම්මා)මේ ගැන ඔහුගේ පෝරකයේ සටහන් කියන පොතේ සඳහන්  වෙලා තියනවා.කොහොම උනත් මේ තීරණාත්මක  මොහොතේ,පාලකයන් විසින් අපේ අයිතිවාසිකම් අමුඅමුවේ මරා දමමින් සිටින මොහොතේ අප සියලු දෙන එක වන්ව නැගී සිටිය යුතු කාලයක් උදාවෙලා තියෙන්නේ.අද අපේ පරිත්‍යාගයන් මත තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ.ඉතින් පාලකයන් උසි ගන්වන දඩ බල්ලන්ට බය නොවී එකාවන්ව මේ කුරිරු මර්දනයන්ට එරෙහිව මහා ජන ගඟක් වගේ පෙරට එමු.
                           පෙරට එමු සගයිනේ
                            එකවගේ එකමිටට
                            සුන් කරමු බැඳී යදම්
                            අප සතුය ඒ හයිය....
                             අද හෙලමු දා බින්දු
                             හෙට තැනෙන ලොව අපේ
                              හෙට නැගෙන හිරු අපේ
                              අවදි වමු පෙරට එමු
                              මහා පවුරක් වගේ........ 

Saturday, May 11, 2013

සොක්‍රටීස්

ඉතින් කොහොමද?මේ දවස් ටික වැඩ ගොඩක් තිබ්බ දවස් ටිකක්.කියන්න දේකුත් තියනවා.මේ බ්ලොග් එක ලියන මාත් දවසකට හරි නළුවෙක් උනානේ.අපේ සරච්චන්ද්‍ර වලේ පෙන්නපු සොක්‍රටීස් කියන ඩ්‍රාමා එකේ පුංචි පාර්ට් එකකට මාවත් ගත්තා.මට ඉතින් කියන්න කියල දෙබසක්නම් නැහැ.නාට්ටිය පුරාවටම ඔලුව හොල්ල හොල්ල ඉන්න තියෙන්නේ සොක්‍රටීස් පඩිතුමාගේ  ගෝලයෙක් විදියට.ඒත් නිශ්ශංක දිද්දෙනියලා ජයලත් මනොරත්නලා ලූෂන් බුලත්සින්හලලා වගේ අග්‍රගන්‍ය නළුවන්ගේ තිබිරි ගේ උන සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ එහෙම නැත්තන් වලේ නාට්‍යක ඉන්නවා කියන එකමත් වාසනාවක්නේ.
          සොක්‍රටීස් නාට්‍යයේ මුල් පිටපත මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍රයන්ගේ.ඒකෙ රගපැවේ ජයලත් මනෝරත්න වගේ හොදම නාට්‍ය ශිල්පීන්.අලුත් සොක්‍රටීස් නාට්‍ය අද්‍යක්ෂනය කලේ පූජිත ඩි මැල් සර්.අපේ ලලිත කලා අංශයේ සහෝදර සහෝදරියන්ගේ වැඩක් විදියට තමයි ඒක  එලියට ආවේ.උන් මාස ගානක් මහන්සි උනා ඔය වැඩේට.මං නම් ඩ්‍රාමා එක පෙන්නන්න දවස් 2කට විතර කලින් සෙට් උනේ හදිසියේම.කොහොම උනත් ඩ්‍රාමා එක බලපු යටත් එක ලොකු අත්දැකීමක් උනා.හේතුව සාමාන්‍යයෙන් වලේ ඩ්‍රාමා එකක් පෙන්නන්නේ මැද.බලන ය වටේ පඩි පෙළ උඩ ඉදන් තමයි බලන්නේ.සොක්‍රටීස් පෙන්නුවේ ඒ පඩිපෙළවල උඩ .ප්‍රේක්ෂකයෝ හිටියේ වල මැද.ඒක  මුළු ප්‍රේක්ෂකාගරයම කණපිට හැරවීමක්.ඇත්තටම මේ ක්‍රමයට කියන්නේ සයිඩ් ෆැසිෆික් තියරි කියලා.කොහොම උනත් සොක්‍රටීස්ගේ දර්ශනයත් එක්ක එයා ලෝකෙට දුන්න පණිවිඩයත් එක්ක ඒ ක්‍රමේ ගැලපෙනවා කියල මට හිතුනා.ඔහුට ඕනේ කලෙත් පාලක පන්තියේ බොරුවෙන් සාමාන්‍ය මනුස්සය ගලවා ගන්න.ඔවුන්ගේ පීඩාවට හේතුව දෙවියන් නෙමෙයි පාලකයෝ කියල ජනතාවට කියල දෙන්න.සොක්‍රටීස් දෙවියන් අභියෝගයට ලක් කළා.පැවතුන සමාජය අභියෝගයට ලක් කලා.පාලක පන්තියට අභියෝග කලා.ප්‍රශ්න කලා.ඉතින් අද වෙන විදියට ඒ කියන්නේ පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න කරන පාලකයන්ට අභියෝග කරන මිනිස්සුන්ව මර්දනය කරන්න මරා දමන්න කටයුතු කරන විදියටම සොක්රටීස්ටත් වස දීල මරල දාන්න එවකට හිටපු පාලකයෝ කටයුතු කළා.ඒ උනත් අදටත් ලෝකයා මතක තියන් ඉන්නේ සොක්රටීස්ව මිසක් ඔහුව මරා දැම්ම පාලකයන්ගේ නම් නෙමෙයි.සත්‍යවත් සත්‍ය වෙනුවෙන් අරගල කරන මිනිස්සුන්ගේ නම්වත් කවදාවත් ඉතිහාසයෙන් මැකෙන්නේ නැහැ.සොක්‍රටීස් හැමදාමත් අපිට කියල දෙන පාඩම ඒක.

Saturday, March 23, 2013

මේ මාස ටිකේම මොකුත් නොලිව්ව එකට සමාවෙන්න ඕනේ.දන්නවනේ ඉතින්.වඩාත් වැඩියි.ඒ මදිවට දොන්ගලේ බිලත් සෑහෙන කාලෙකින් ගෙව්වේ නැහැ.අතේ වත නැති නිසා.කොයි වෙලාවේ හරි එකට උසාවි යන්නත් වේවි මෙහෙම ගියොත්.ඉතින් කොහොමද ජීවිතේ?මගේ නම් මේ කැම්පස් ජීවිතේ තුන් වෙනි අවුරුද්දත් පටන් ගත්තා.තව එක අවුරුද්දයි. කාලේ ගෙවිල ගිහින් තියන ඉක්මන හිතා ගන්නවත් බැහැ .කොහොම උනත් දැන් මන් ඉන්නේ අයිවෝර් ජෙනින්ග්ස් එහෙමත් නැත්තන් ළමයි කියන විදියට රන්ජිතම් ගුණරත්නම් හොස්ටල් එකේ.පහසුකම් නම් හොදයි.එත් කන්දක්උඩ තියන නිසා යන්න එන්න ගියාම තමයි එපා වෙන්නේ.පහු ගිය ටිකේ රටේ විතරක් නෙමෙයි කැම්පස් එකෙත් ගොඩක් ලොකු දේවල් සිද්ධ උනා. දැනට මාසෙකට හමාරකට උඩදී විතර ජපුරෙන් හන්තාන නගින්න ආපු බැච් එකක් හන්තානේ අතරමන් වෙලා ගලවගන්න ගිය එක එහෙම මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.මහා වැස්සේ මීදුමත් එක්ක අතරමන් උන ඒ කාණ්ඩය ගේන්න හවස හයට හතට විතර උඩට නැග්ග අපිට පල්ලෙහට බහින්න උනේ පහුවෙනිදා පාන්දර.හිතා ගන්න පුලුවන්ද සැප.ඒ විතරක්ද පහුගිය ටිකේ කැම්පස් එකේ යම් යම් නොසන්සුන්තවයනුත් තිබ්බා.එකට හේතුව මේ පාර ගොඩක් ළමයින්ට හොස්ටල් කපල තිබීම ඉඩ නැති නිසා.අපේ අය  ඔහොම දෙයක් වෙනවා තව හොස්ටල් දෙකක දෙන්න කියල ඉල්ලුවේ අවුරුදු ගානකට කලින් ඉදන්.මේකේ හිටපු අමන පාලකයෝ ඒවා ඇහුවේ නැහැ.අලුතින් ඉංජිනේරු පීඨයට ළමයි ආවාම තමයි ඒ කට්ටියගේ ඇස් ඇරුනේ.ඔන්න එතකොට ළමයින්ට කියනවා ලියුම් දීල කොහෙන් හරි කුලියට ගෙවල් හොයල දෙන්න කියල.හරියට කක්කා බර වෙලා පිට්ටනි හොයනවා වගේ.එක කරන්න ඕනෙත් ළමයි.ඒ මදිවට නවක වදේ කියල ආයෙත් පත්තර වලින් මඩ  ගහන්නත් පටන් අරන්.ඒ මුවාවෙන් කැම්පස් එකේ ප්‍රශ්න වලින් කර අරින්නයි මුන් හදන්නේ.මේ ඊයේ පෙරේදා අක්බාර් හොස්ටල් එකට ගිය අපේ පිස්සු හැදිච්ච නියෝජ්‍ය උපකුලපතියයි අනිත් ලොක්කෝ ටිකයි පලවෙනි වසර මල්ලිලට අවජාතකයෝ කියල බැනලා.උන් කියපු අභූත දේවල් ප්‍රතික්ෂේප කලහම. එතකොට ඒ කාලකන්නින්ට නවක වද පනතින් නඩු දාන්න ඕනේ නැද්ද?මේ ඊයේ පෙරේද පත්තරේක තිබුන අලුතෙන් ආපු යට පිළුණු බත් කන්න දුන්න කියල.මේවා ඇහුණාම මුන්ගේ තියන එව්වා ගලවන්න හිතෙනවා.කවදාවත් විශ්ව විද්‍යාලේ අපි අපු කාලේ නොදැකපු ඒවගේ දේවල් ලියන පත්තරකාරයන්ගේ ඔලුව ගැන දෙපාරක් හිතන්න ඕනේ.මන් කැම්පස් ඇවිත් අවුරුදු තුනකට වැඩියි.එදා ඉදන් මේ වෙනකන් කවදාවත් අපේ සීනියර් අයියල පිළුණු බත් කවල නැහැ.අතේ සල්ලි නැති උනහම මේකෙන්  කාපන් කියල තමන් කන බත් පත දික්කරන්න තරම් මිනිස් හැගීමක් තියන මිනිස්සු මේකේ ඉන්නේ.එහෙවු මිනිස්සුන්ට ගරහන එක ගැන මගේ හිතේ තියෙන්නේ මහා කලකිරීමක්.ඔය හැමදේකම යටි බලාපොරොත්තුව අපි දන්නවා.මේකේ ඉන්නේ අමනුස්සයෝ කියල හංවඩු ගහල විශ්ව විද්‍යාල ගැන තියන බලාපොරොත්තු නැති කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙනත් නිදහස් අධ්‍යාපනය වනසන්නයි මුන් හදන්නේ.එකට උඩ  ගෙඩි දෙන්නේ ජාතියක් ජන්මයක් නැති පත්තර වාර්තාකරයෝ.මන් මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි.කොන්දක් තියන් වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නවා.ඒ කාලේ හිටපු මීමන මහත්තයලා වගේ අයත් මර්ධනය දැඩිව තිබුණු 88-89 කාලේ බය නැතුව කතා කරපු මාධව මහත්තයල ගැනත් හිතේ ලොකු ගෞරවයක් තියනවා.එත් මේ කොහේටවත් නැති පාන්කඩයෝ නිසා ඒ මිනිස්සුන්ගේ ගෞරවයත් පත්තර කලාවේ ගෞරවයත් නැති වෙනවා.ඒ ගැන දුකයි.ඒ කොහොම උනත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ ගරුත්වය විනාශ කරන ඔය වගේ බොරු දේවල් එක පාරට පිලිගන්නතුව ටිකක් හොයල බලන්න කියල ඉල්ලනවා.
             මේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කරන්න පාලකයෝ ලොකු ගේමක් ගහනවා.ආචාර්යවරුන්ට මේවා එපා කරවලා,ළමයි ගැන බොරු කතන්දර මවල,අවශ්‍ය පහසුකම් නොදී වැය  කරන මුදල් කප්පාදු කරලා මේවා වට්ටන්නයි හදන්නේ.එක නිසා ඔය උගුල් වලට අහුවෙන්න එපා.මේවගේ ඉගෙන ගන්න බහුතරය දුප්පත් දෙමවුපියන්ගේ දරුවෝ.නිදහස් අධ්‍යාපනයක් නැතුව සල්ලි දීල ඉගෙන ගන්න උනොත් ගමේ පොල් කඩන මනුස්සයාගේ කුලී වැඩ කරන මනුස්සයාගේ දරුවට මොකද වෙන්නේ?ක්ෂිතිජයට එහායින් ලෝකය දකින්න ඒ දරුවන්ට ඉඩක් නැද්ද?අද නිදහස් අධ්‍යාපනයට කෙලින්න බලන් ඉන්න පාහරයෝ ඔක්කොමත් නිදහස් අධ්‍යාපනයේ වරමින් ඔය පුටු වලට ගිය උන්.කොහොම උනත් මේ රටේ කොන්දක් තියන අන්තිම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා මේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න පාරට බැහැල සටන් කරනවා.මොකද ඔවුන්ට ආදර්ශයක් තියනවා.ලෙයින් යකඩින් මඩින්නට බැරි උණු අතීතයක් තියනවා.ඒ අතීතයේ ඉදන් නිෂ්මිලා,බාලෙලා,වෙනුරලා වගේ ආදරණීය සහෝදරවරු දහස් ගානක් අපි දිහා බලන් ඉන්නවා.ස්ට්‍රයික් ගහ යට ඉදන් නිෂ්මි කතා කරන හඩ තාමත් මේ හන්තාන අවකාශයෙන් අපිට ඇහෙනවා.ඒ සහෝදරවරුන්ගේ ශරීර වල ලෙයින් පෝෂණය උණු තණපත් වලින් තාමත් ඔවුන්ගේ ජීවන සුවඳ අපිට දැනෙනවා.ඔවුන්ගේ ඒ අනන්ත කැපකිරීම් පරාජය වෙන්න අපේ සහෝදරයෝ සහෝදරියෝ ඉඩ දෙන්නැති බව හෙට ඉර පායනවා වගේ මට විශ්වාසයි.

Monday, January 14, 2013

මොහොතකට

 ඉතින් හුග කාලෙකට පස්සේ මට මොනවා හරි ලියන්න කියල හිතුන එකත් පුදුමයක්.කොහොම උනත් ලියන්න හිතුනේ මුළු රටම කම්පාවෙච්ච සිදුවීමක් ගැන.ඔවු රිසානා ගැන.රිසානවා මරා දමලා.නොදරුවෙකුගේ උගුරේ කිරි හිරවී මැරුණු වරදට තමයි රිසානාට ඒ දඩුවම හිමි උනේ.ඇත්තටම අන්තර්ජාලයේ පත්තරවල දකින දකින තැන්වල මුස්ලිම් ජාතිකයන්ට අම්ම මුත්තා මතක් කර කර බැනපු අපි සිංහල,දෙමල,මුස්ලිම් බේදයක් නැතුව රිසානාගේ ඉරණම ගැන කම්පා වෙනවා.ඒත් එක්කම අපේ හදවත් වලින් අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා.ඇත්තටම රිසානා මැරෙනකන්ම ඇය ගැන නිවැරදි සොයා බැලීමක් අපි හෝ මේ ආණ්ඩුව විසින් සිදු කලාද කියන එක. දැන් ඇගේ මරණයත් එක්ක ඔක්කොම පුක කැඩිච්ච කඩි වගේ දගලනවා.තානාපතිවරු ඉවත් කරනවා.අරාබියට කාන්තාවන් පිටත් කිරීම නවත්තන්න හදනවා.රිසානාගේ පවුලට ගෙවල් හදල දෙන්න හදනවා.මේ ඔක්කොම කරන්නේ ඇය මිය ගියාම.හරි වචනේ ඇයව කුරිරු ලෙස මරා දැම්මාම.
                              රිසානා රට  ගියේ අඩු වයසින්.ඒ තමන්ට සැප හොයාගෙන නෙමෙයි.ඉන්න හිටින්න තැනක් නැති පවුලේ උදවිය වෙනුවෙන්.පාසල් යන වයසේ උන් නංගිලා මල්ලිලා වෙනුවෙන්.තමන් වැටිල ඉන්න දුප්පත්කම කියන ගොහොරුවෙන් එලියට එන්න හිතාගෙනයි ඇය රට ගියේ.නමුත් අවාසනාවන්ත විදියට ඇයට සිද්ද උනේ හැමෝම අඩවලා පෙට්ටියකින් එන්න.ඉතින් වරද කාගේද?ඇයව අඩු වයසින් රට යවපු ඒජන්සිකාරයෝද?එහෙම නැත්තන් අඩු වයසින් රට ගිය රිසානාද අරාබි  නීතියද?නැත්තන් මැරිච්ච නොදරුවද ?ඔය ඔක්කොටම වඩා මූලික වැරැද්ද රිසානාගේ දුප්පත්කම.මේ රටේ නැති මිනිස්සු ඉන්නකන් දුප්පත්කමේ අන්තයට ගිහින් යන එන මන් නැතුව ඉන්න මිනිස්සු ඉන්නකන් තව තව රිසානලා බිහි වේවි.අරාබියේ නැති උනත් ලෝකේ වෙන රටවල ගිහින් වහල්කම් කරාවි.මේ වගේම මිනී පෙට්ටිවල තව දහස් ගණන් අපේම අම්මලා අක්කලා නංගිලා ඒවි.ඉතින් අපි මොකක්ද කල යුත්තේ?හැමෝටම දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සාධාරණ සමාජයක් බිහි කිරීමයි.ඒ සමාජය ඇතුලේ මේ වගේ දුප්පත්කම නිසා මිය යන රිසානලා වගේ අහිංසකයන්  නොසිටිවී.ඉතින් එහෙවු සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වදිනවාද?නැත්තම් වහලුන් සේ මිය යනවාද?තීරණය අප ඔබ සතුයි.
                          තව දෙයක්.නීතිය කියන්නේ ධනපතියා රකින එක ආයුධයක් විතරයි.එකෙන් ඔබ මා වැනි නිර්ධනයෙකුට ලැබෙන පිහිටක් නැහැ.ඒක මන් ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.ලංකාවේ පොලිසියකට උසාවියකට ගියානම් ඔබ ඒක හොදින් අත්විඳලා ඇති.අරාබි නීතිය උනත් ඇමෙරිකාවේ නීතිය උනත් ලංකාවේ නීතිය උනත් ඔය ඔක්කොම එකයි.උන්ගේ වාසියට තමයි ඔය හැම නීතියක්ම.එක නිසා මේ බොරු ජාති ආගම් කුල බේද අතැරලා අපි එකා වගේ නැගී හිටිමු.අපි ඔක්කොටම සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්,ලෝකයක් බිහි කරමු. ඒකට අපි හැමෝටම ශක්තිය තියනවා.

                                  යකඩ පිත්තල නොවෙමු
                                  රජුන් උඩ පැන තලන
                                  බුරුත කොස් නැදුන් වෙමු
                                  උන්ට එසවිය නොහෙන....
                                                          දර්ශන මේදිස් කවියාගේ 'කඳුළු මිටියාවතින් ' කවි පොතෙනි.