Friday, October 26, 2012

ඉතිහාසයෙන් පැනයක්

ගුරුතුමනි විමසුමට
පැනයක් තිබේ මා හට
මහාවංශ දීපවංශ
නොයෙක් ඉතිහාස පොත් වල
ලියවී තිබේ බොහෝ සටහන්
යුදෙන් වික්මන් කල රජවරුන්
සෙන්පතින් ගැන....
දාගැබ්ද මහ වැවුද
පෙතිපිලිම කල
මහා රජවරුන් ගැන
ඒ නමුත් ගුරුතුමනි.....
මහා යුද්ධ ජය ගැන්මට
රජවරුන්ට සෙන්පතින්ට
පමණක්ම හැකිවේද
නොමැතිව සුළු සෙබළුන්
මහා වැවු, දාගැබ්
පෙතිපිලිම නිම කල හැකි වේවිද
නොමැතිව
කම්කරුවන්,ගල්වඩුවන්
පෙදරේරුවන්...
ඉතින් ඉතිහාස පොත්වලින්
එක පුංචි පිටුවක්
ඇයිද වෙන් නොකළේ
රජුන්,සෙන්පතින් වෙනුවෙන්
දාඩිය,ලේ,කඳුළු වැගිරූ
ඒ පුංචි මිනිසුන් වෙනුවෙන්....
ගුරුතුමනි....
උගන්වන්න මට
රජුන් සෙන්පතින් ගැන නොව
උන් වෙනුවෙන් වෙහෙස වුනු
පුංචි මිනිසුන් ගැන....

Thursday, October 25, 2012

නුඹ

ගලහ හන්දියෙන් එපිට
සෙනග පිරි බස් රියේ
නාදුනන මුහුණු අතර මැද
හුරුපුරුදු ලෙසින් හිනැහුණ
නුඹ..............
බැලූ එක බැල්මකින්
හද පුරා සිතුවම් දහසක් ඇද
යලිත් නොබලාම මදෙස
ගුඩ් ෂෙඩ් වලින් බැස
හිරිපොද වැස්සේම
දියව ගිය
නුඹ...................

Tuesday, October 16, 2012

වැසි දිනකදී දුරින් හිදගෙන පෙම්බස් මුමුණන පෙම්වතියට


                                                  අර බලන් සොඳුර අර
                                                  හන්තාන අහස'ගන
                                                  හීතලෙන් කිලිපෙලුනු සිරුරැති
                                                  හන්තාන කඳු හිමිව
                                                  සිය සිනිදු අත්වලින්
                                                 වෙලාගෙන උනුහුමට
                                                 ආදරෙන් තුරුළු කරගෙන
                                                 සිටින'යුරු........




                                 

Saturday, October 13, 2012

එදා-අද

සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තය කියන්නේ මං ගරු කරන පුවත්පත් කලාවේදියෙක්.දැන් ඔහු දේශපාලනමය විදියට මොන වගේ තැනක ඉන්නවද කියල මං දන්නේ නැහැ.ඒත් ලංකාවේ තිබුණු දැවැන්ත මර්ධනකාරී යුගයක ඔහු විසින් ලියනු ලැබූ දේවල් වලට මං ගොඩක් ආසයි.විශේෂයෙන් 1986-1993 කාලයේ ඔහු විසින් ලියනු ලැබූ "සත්‍යවාදියෙකුගේ දිනපොත"නම් තීරු ලිපි පෙළ එම යුගයේ අන්ධකාරය පෙන්වන උදාහරණයක් විදියටයි මං දකින්නේ.ඒත් එක්කම එම තීරු ලිපි පෙලේ තියෙන අදහස් දැක්වීමේ නිර්භීත භාවයටත් මං ගොඩක් කැමතියි.ඒ තීරු ලිපි පෙළ "සත්‍යවාදියෙකුගේ දිනපොත"ලෙස පොතක් විදියටත් එලි දක්වල තියනවා.මට ඒ පොතේ එක්තරා කොටසක් උපුටා දක්වන්න හිතුනා.එම කොටස එදාටත් අදටත් දෙකටම උචිතයි කියලයි මට හිතෙන්නේ.

             1986 අගෝස්තු 20
                             නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
                              දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්‍රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
                             ..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........

දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.

ළඟ නැති ඔයාට








සංසාරෙ පුරාවට
රැක ගන්න සිටි මැණික
අහිමි වූ කලට හිත
හදාගන්නේ කෙලෙස
සිහිනයෙන්වත් ඇවිත්
සුවඳ තවරා දසත
හිත හදාගන්න හැටි
කියාදී යන්න මට..........

ආයෙමත් පුරුදු හන්තාන හෙවන යටට ආවා.මාසයක් තිස්සේ මන් මේ හන්තාන අහසින් ඇත හිටියේ.මන් අඩිය තියපු වෙලාවේ ඉඳන් හන්තාන අහස අඩනවා.සමහර විට මාව ආයේ දැකපු සන්තෝසෙට වෙන්නැති.කොහොමහරි සද්ද බද්ද අඩුව තිබුන අපේ කාමරේ ආයෙමත් සැහෙන්න කාලගෝට්ටියක්.එහෙට මෙහෙට විසිරිලා හිටපු ඔක්කොම ආයේ එකතු වෙලා.සඳුදා ඉඳන් ආපහු වැඩ පටන් ගැනිල්ලක් තියෙන්නේ එක හුස්මට.කොහොම උනත් ආයේ පරණ ජීවිතේට එන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්.එත් හිතේ තියන තනිකම මකන්නම බැහැ වගේ.එක කොහෙන් එන තනිකමක්ද කියල හිතා ගන්න අමාරුයි.එත් ඒ තනිකමට මන් ආසයි.හන්තානේ ෆයිනස් ගස් මුදුනෙන් ගලාගෙන එන අඳුර,මීදුම,හන්තාන අහසින් වැටෙන වැස්ස මේ හැමදේකම තියෙන්නේ මහා තනිකමක්.ඒ සමහරවිට කවුරු  ළඟ හිටියත් ඔය මන් ළඟ නැති නිසාද?.පුලුවන්නම් හීනෙන් හරි ඇවිත් මට උත්තරයක් දීල යන්න.අවුරුදු ගානකින් දැක්කේ නැති ඔයා දැන් කොහොම ඇද්ද?එදාට වඩා  තවත් ලස්සන වෙලා ඇති.එත් මට නම් තම ඔයා එදා මන් දැක්ක ඔයාමයි...........පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැතුව තාමත් මගේ හිතේ ඒ විදියටම ඉන්නවා.පුලුවන්නම් එකම එක පාරක් හීනෙන් හරි ලඟට එන්න.මන් බලාගෙන ඉන්නවා ඇස් පියාගෙන ඔයා එනකන්.

Wednesday, October 10, 2012

මඳක් හිතන්න







අද උදේ පාන්දර අහපු නිව්ස් එකකින් හිත කීරි ගැහිලා ගියා.ක්‍රිකට් වර්ල්ඩ් කප් එක පරාද වෙච්ච දුකට තරුණයෝ දෙන්නෙක් එල්ලිලා මැරිලා.කොච්චර අපරාධයක්ද?දැන් ඒ දෙන්න මැරුණා කියල අපිට කප් එක හම්බ වෙයිද?......නැහැනේ.ඒ මරණ වල දුක විදින්න ක්‍රිකට් ටීම් එක එන්නෙත් නැහැ.ඒ දුක විඳින්න ඕනේ උන්ව මෙච්චර කාලයක් දුක් මහන්සියෙන් හදපු වඩපු අම්මලා තාත්තලා නෑදෑයෝ හිතවත්තු.වෙන මිනිස්සුන්ට ඒකෙ දුකක් නැහැ.අඩුගානේ ක්‍රිකට් ටීම් එකේ උන්ටවත්.උන්ටත් වර්ල්ඩ්  කප්  තව ටික දවසකින් අමතකයි.ඊට පස්සේ එයාල IPL,SLPL,BPL සෙල්ලම් කරයි.කෝටි ගණන් හම්බ කරයි.තව වර්ල්ඩ් කප් ගහයි.ඒවත් දිනයි.එක්කෝ පරදියි.
               ඇයි දෙයියනේ සියදිවි නසා ගන්න නෙමෙයි මරාගෙන මැරෙන්න ඕනේ දේවල් කොච්චර මේ රටේ වෙනවද?දවසකට ළමා අපචාර කීයක් වෙනවද?දූෂණ,වංචා කොච්චර වෙනවද?මැර දේශපාලකයෝ නිසා මිනිස්සු කොච්චර පීඩාවට පත්වෙනවද?මේවට විරුද්ධ වුනානම් හොද නැද්ද?මේවට විරුද්ධ වෙලා මැරෙන්න උනත් ඒ මරණෙට වටිනාකමක් තියනවා.අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට පරාජය දරා ගන්න අමාරුයි.ඒ නිසා එයාල ඉක්මන් විසදුමක් විදියට තෝරාගන්නවා මරණය.ආදරය පරාද උනාට පස්සේ සියදිවි නසාගන්නවා.සමහර විට කෙල්ලගේත් හත් අට පොලකට පිහියෙන් ඇනලා එකිවත් මරල තමයි මැරෙන්නේ.එහෙම නැත්තම් දෙන්නම මැරෙනවා.මට මේ වෙලාවේ මන් බලපු "කුන්ග් ෆු"කියන ටෙලිනාට්‍ය මාලාවේ තිබ්බ එක්තරා දෙබසක් මතක් වෙනවා."ආදරය කියන්නේ හිමිවීමම නෙමෙයි.මන් කෙනෙකුට ආදරෙයි කියල ඒ කෙනා මටම ආදරය කල යුතුයි කියල නීතියක් නැහැ.මොකද ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි".තමන් කැමති කෙනා තමන්ට කැමති නැහැ කියල මැරෙන්න,මරන්න උවමනා නැහැ.තමන්ට ආදරය කරන්නැති කෙනෙකුට ආදරය කරලා තේරුමකුත් නැහැ.අනිත් එක දිනුමට තියන විරුද්ධ පදේ තමයි පැරදුම.එකයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ අට ලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියල.ජීවිතේ දෙයක් නැති උනාට පස්සේ මැරෙන්නේ,මට නැත්තන් වෙන කාටවත් නැහැ කියල නොලැබුන දේ නැති කරන්න  හදන්නේ ජීවිතෙන් පරාද වෙච්ච මිනිස්සු.
               තාවකාලික පසුබෑමක් කියන්නේ සදාකාලික පරාජයක් නෙමෙයි.මන් බලපු "රවුඩි රාතෝර්" කියන හින්දි ෆිල්ම් එකේ එක තැනක තියනවා"සිංහයෙක් අඩි 2ක් පස්සට යන්නේ අඩි 10ක් පනින්න කියල".ඒ වගේ අපි අඩි 2 ක් පස්සට ගියොත් අඩි ගානක පිම්මක් තියන්න හිතට ගන්න ඕනේ.අන්න එහෙම මිනිස්සුයි ලෝකෙට අලුත් දෙයක් එකතු කලේ.තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගන්න 999 පාරක් ට්‍රයි කළා.එත් වැරදුන.1000වෙනි පාර හරි ගියා.බලාපොරොත්තු නැති කරගන්නේ නැති  එකයි වැදගත්.මං ආයෙමත් කියන්නේ මැරෙනවනම් ජීවිතේට වටිනාකමක් දීල මැරියල්ලා.හිතට එන ආවේගෙට තීරණ අරන් ජීවිත විනාස කරගන්න එපා.ඉපදුන වරදට ලෝකේ ජීවත් වෙන්නත් එපා.ජීවිතේට වටිනාකමක් දීල ජීවත් වෙලා වටිනාකමක් දීල මැරියල්ලා.ලෝකේ මතක තියෙන්නේ එහෙම මිනිස්සු............
--------------------------------------------------------------------------------------------------------------------------------------------------

Tuesday, October 9, 2012

මල් පවනේ ඉංග්‍රීසි





හිස් අහස බ්ලොග් එක ලියන සඳරු කොලුවා දාල තිබ්බනේ මල් පවනේ ඕ ලෙවල් කඩ්ඩ ලියල කුඩු කරගත්ත හැටි.මේක මං මල් පවනේ ඒ ලෙවල් කඩ්ඩ ලියපු හැටි ගැන කතාව.
                       ඇත්තටම මට නම් ඉංග්‍රීසි මහා ලොකු අවුලක් උනේ නැහැ එදා ඉදන්ම.ඕ ලෙවල් වලට ඉංග්‍රීසි වලට කියල පන්තියකට ගියා.එත් කවදාවත් පන්තිය ඇතුලට ගිහින් නැහැ.කොල්ලොත් එක්ක පන්තිය ළඟ තිබ්බ ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි ඒ පැය දෙක හිටියේ.ඉන්ටෙර්නෙට් එකේ මොනවද කලේ කියල අහන්න එපා.මොකද ඒ කාලේ මේ බ්ලොග් කෙරුවාවල් මූණු පොත් ගැන දැනුමක් තිබුනේ නැහැනේ.කලේ ඉතින් ඔය කාගෙන් හරි අනන් මනං සයිට්  අහගෙන ඇවිත් ඒවා හොයා හොයා පින්තූර බලපු එක තමයි.වයසේ වැරද්දනේ......හැබැයි මොන මගුල කලත් මං ඉංග්‍රීසි පාස්.නිකන් නෙමෙයි" A "එකක් එක්ක.මං කියන්න හිටියේ ඕ ලෙවල් ගැන නෙමෙයි ඒ ලෙවල් ගැනනේ.
                      ඔන්න ඒ ලෙවල් විෂයන් එහෙන් මෙහෙන් ඉවර වෙලා ඉංග්‍රීසි තියන දවස උදා උනා.මාත් ඉතින් උදේ පාන්දර ගියා ඉස්කෝලෙට.ගිහින් මට විභාගේ තිබ්බ පන්තියත් හොයාගත්ත.පන්තියට ඇතුල් උන ගමන් මට වෙනසක් තේරුනා.කෙල්ලෝ ඔක්කොම වෙනදා වාගේම දමාගෙන පාඩම් කරනවා.ඒත් කොල්ලෝ එකෙක්වත් නැහැ.මට නිකමට වගේ සැකයක් අව.මාත් පන්තියෙන් එලියට ඇවිත් ඉස්කෝලේ අනිත් කෙලවර පැත්තට ගියා.අපේ ඉස්කෝලේ කෙලවරේ පොඩි පිට්ටනියක් තියනවා.ඔය 6,7,8 පන්තිවල පොඩි එවුන් සෙල්ලම් කරන්නේ ඔය පිට්ටනියේ.ඔය පිට්ටනිය කෙලවරේ තියනවා පන්ති කාමර වගයක්.ඈත තියාම මම දැක්ක එතන එක පන්තියකින් හීනි දුම් රැල්ලක් උඩට යනවා.ඒක දැකපු ගමන් මගේ කකුල් මටත් නොදැනිම ඉක්මන් උන.මං පන්තියට එබෙන කොට පන්තියේ කොල්ලෝ ඔක්කොම එතන.මල් කූරක් පත්තු වෙනවා.අනුපානෙට රත්තරන් කොලේකුත් එක්ක.ඒක දැකපු ගමන් මට සිහි නැති උනා.ගත්ත ගමන් කලින් මා ඇරිච්ච ඒවත් එක්කම මල් සුවඳ ටිකක් විදලා මදි පාඩුවට රත්තරන් කොළෙත් ඉරුවා.ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්ක බොහොම අහිංසක විදියට හිනා වෙවී ඉන්නවා.සමහරු අහස පොලොව ගැටලන්න කල්පනා කරනවා.මාර ආතල්.අපිට ඉංග්‍රීසි පේපර් එක ලියන්න ඕනේ කියල මතක් උනේ පන්තියෙන් වාඩි වෙන්න බෙල් එක ගහල විනාඩි දහයකුත් ගියාට පස්සේ.
                       ඉතින් කට්ටියත්  එක්ක හනි හනික ආව පන්තියට.ඉඳගත්ත.ඔන්න ප්‍රශ්න පත්තරෙත් බෙදුව.මට නිකන් අකුරු පෙන්නේ නිල් වෙලා, කොළ වෙලා, පාවෙලා.මං ඔලුව උස්සල බැලුව වට පිට.මට එහා පැත්තෙන් හිටපු එකා පේපර් එකා දිහා බලාගෙන ඉන්නවා.හරියට භාවනා කරනවා වගේ.මං බැලුව හිමීට පිටිපස්ස.මට පිටිපස්සේ හිටපු එකා නිදි.ඔක්කොටම මල නියමෙටම වැඩ.මට හරි ගියේ නැහැ.මං ගත්ත පේපර් එකා.ලියන්න ගත්තා.වචන පේලි දෙකක් ලියනවා.මොනවහරි හිතෙනකොට කම්මුලට අත තියාගෙන කල්පනා කරනවා.ආයේ ලියනවා.කල්පනා කරනවා.කොහොම හරි මං පැය එකහමාරක් වෙද්දී පේපර් එකා ලියල ඉවරයි.ඊට පස්සේ ලියපු පේපර් එකා එහෙමම තියල මං නිදා ගත්ත ඩෙස්ක් එකට ඔලුව තියාගෙන.ඇහැරුනේ පේපර් එකතු කරන කොට.මගේ පිටිපස්සේ හිටපු එකාව ඇහැරවන්න දෙතුන් පාරක්ම තට්ටු කරන්නත් උනා.කොහොම හරි ඉංග්‍රීසි ඉවර උනා.ප්‍රතිපල බලන කොට මල් පවනේ ආතල් එකේ ලිව්වා මගේ ඉංග්‍රීසි පේපර් එකට මට "c " එකක්.කාටද ආඩම්බර...........ඒත් අවුල මගේ වටේ හිටපු අනිත් උන් ඔක්කොම ඉංග්‍රීසි ෆේල්.


Monday, October 8, 2012

හීන වලින් නැගිටපල්ලා..

T20 වර්ල්ඩ් කප් එකත් ඉවර උනා.මෙච්චර දවසක් ටෙලිවිසොන් එක ඉස්සරහට වෙලා කට ඇරගෙන මැච් එකක් නෑර බලපු සමහර මිනිස්සු ඉදගත්තා තැන වලින් නැගිට්ටේ" තුහ් නොදකින්" කියාගෙන.සමහරු මැච් එක බලන්න ආපු" ම.රා".ටත් බැනල තියනවා මං දැක්ක මූණු පොතේ.කොහොමහරි අපේ ගමෙත් මැච් එක ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකන් රතිඥා පත්තු වෙනවා ඇහුන.ඒ අපි පරාද උනා දුකටද නැත්තන් අනු ශූරයෝ වෙච්ච සතුටටද කියලනම් මං දන්නේ නැහැ.
         කොහොම උනත් සති ගානක් ක්‍රිකට් ගැන හීන දැක දැක හිටපු මිනිස්සු ආයෙත් ටික දවසකට ඇහැරිලා.මං හිතන්නේ අපේ මිනිස්සුන්ගෙන් මේ විදියේ ප්‍රශ්න ටිකක් ඇහුවොත් සමහරු මෙහෙම උත්තර දෙයි.

             "කැම්පස් වහල මාස තුනකට වැඩියි නේද?"
             "නෑ.ඇත්තද....?"
             "කැම්පස් ළමයි පා ගමනක් එද්දී කොල්ලෝ දෙන්නෙක්ව හැප්පිලානේ"
            "අම්මට සිරි...ඇත්තද කවද්ද...?"
            "අධිකරණ සේවා කොමිෂන් එකේ ලේකම්ට ගහලලු නේද?"
             "නෑ...දන්නෙත් නැහැනේ බන්..ඒ මොකද....?"

අපේ මිනිස්සුන්ගේ හැටි ඔය වගේ.රටේ ලෝකේ මොනවා උනත් ගානක් නැහැ.අල්ලපු ගෙදර එකාට හෙන ගැහුවත් ගානක් නැහැ තමන්ට හෙන නොගහ.අන්න එහෙම මානසික තත්වයක් අපේ මිනිස්සු ළඟ තියෙන්නේ.හිට්ලර්ගේ මහා විනාශයන්ට එරෙහිව නිහඩව හිටපු උන් ගැන ලියවෙච්ච දෙයක් මට මේ වෙලාවේ මතක් වෙනවා.
             "      ඔවුන් යුදෙව්වන් මැරුවා.මා නිහඩව සිටියා.මා යුදෙව්වෙක් නොවන නිසා
                    ඔවුන් පෝලන්ත වැසියන් මැරුවා.මා නිහඩව සිටියා.මා පෝලන්ත වැසියකු නොවන නිසා
                    ඔවුන් කොමියුනිස්ට්වරුන් මැරුවා.මා නිහඩව සිටියා.මා කොමියුනිස්ට්වරයකු නොවන නිසා
                    ඔවුන් කලාකරුවන් මැරුවා.මා නිහඩව සිටියා.මා කලාකරුවකු නොවන නිසා
                    අද ඔවුන් මා මරන්න ඇවිත්.මා වෙනුවෙන් කවුරුත් නැහැ........."

ඔන්න ඕක තමයි අපේ මිනිස්සුන්ටත් වෙන්නේ.අපි කවුරු හරි මවල දෙන හීන බල බල නිදාගන්නවා.ළඟ ඉන්න මිනිහට මොනවා උනත් තමන් දකින හීනේ අතරල නැගිටින්නේ නැහැ.ඒත් තමන්ට මොනවා හරි උනොත් නැගිටිනවා.හැබැයි ඒ වෙනකොට උදව්වට ළඟ කවුරුවත් නැහැ.දැන්වත් ඔය හීන වලින් නැගිටපල්ලා.............................

Sunday, October 7, 2012

පොලිසියත් එක්ක හොරා පොලිස්


මේ මගේ ඉස්කෝලේ කාලේ වෙච්ච අත්දැකීමක්.හරියටම කිව්වොත් ඒ ලෙවල් වලින් පස්සේ වෙච්ච දෙයක්.දවසක් මමයි මගේ අතීසාර මිත්‍රයෝ දෙන්න වුනු දිමන්තයි ,එරිනුයි තුන්දෙනත් එක්ක සෙට් වුණා.සෙට් වෙලා එරින්ගේ බයික් ගියා අපේ නගරෙට අල්ලපු නගරේ තිබ්බ ලස්සන පොට් එකකට.ගියෙත් ඉතින් නිකන්ම නෙමෙයි.දන්නවනේ.පාට බෝතල් දෙකක් එහෙමත් තිබුන.දැන් තුන්දෙනත් එක්ක  අර බෝතල් දෙකත් හිමීට හිස් කරලා ටිකක් හවස් වෙන්න හතරට වගේ ආවාආපහු එරින්ලගේ ගෙදරට.දැන් තුන්දෙනාට ටිකක් බඩු.මටයි දිමන්තටයි ගෙදර යන්නත් බැහැ වගේ.ඒ නිසා තුන්දෙනාත් එක්ක වටයක් දාන හිතාගෙන ආවා බයික් එකෙන්.හෙල්මට් තිබුනෙත් මටයි එරින්ටයි විතරයි.දිමන්තයගේ ඔලුව හංගල තියාගත්තා මැද්දෙන්.
     ඔන්න අපි එනවා.එරින්ලගේ ගෙවල් පැත්තේ ඉදන් එනකොට කොන්ක්‍රීට් අතුරු පාරක් තියනවා කෙලින්ම ටවුන් එකට වැටෙන.ඒ පාර ටවුන් එකට සෙට් වෙන තැන පොලිසියෙන් නිතරම ඉන්නවා.අපිට ඕක එච්චර ගානක් ගියේ නැහැ ආවා ඔය පාරෙන්.ටවුන් එකට සෙට් වෙනකොටම පොලිස් අයියා කෙනෙක් ඈත ඉදන් අත දානවා මන් දැක්කා.එත් බයික් එක එලවපු එරිනයා ඕක දැක්කේ නැහැ වගේ  පොලිස් අයියව පහුකරගෙන ගිහින් ප්‍රධාන පාරට දැම්මා.එතන ඉදන් පොඩ්ඩක් එහාට වෙන්න පෙට්‍රල් ෂෙඩ් එකක් තියනවා.මූ බයික් එක ඇල්ලුවා ෂෙඩ් එකට තෙල් ගහන්න.ඔන්න දැන් තෙල් ගහනවා.එක පාරටම,
                   "ඒයි බැහැපල්ලා තුන් දෙනාම බයික් එකෙන් කියල"කවුදෝ කියනවා ඇහුන පිටිපස්සෙන්.මෙන්න බොලේ අපේ බයික් එකට අත දාපු පොලිස් අයියා තව පොලිස් අයියල තුන්දෙනෙක් එක්ක අපි ලග.තුන්දෙනාගේම වෙරි හිදුන.බැස්ස බයික් එකෙන්.
                  "ගලොපියවූ ජැකට්"ඒ තව පොලිස් අයියා කෙනෙක්ගේ සොදුරු විධානයක්.අපිත් ගැලෙව්වා ජැකට්.එක පොලිස් අයියා කෙනෙක් ජැකට් චෙක් කලා.මල කෙලියයි මගේ ජැකට් එකක සාක්කුවේ අපි බොන්න ගෙනිච්ච වීදුරු තුන.ජැකට් චෙක් කරපු පොලිස් අයියා මගේ ජැකට් එක චෙක් කරලා අරගත්තා වීදුරු තුන එලියට."උබල තුන්දෙනා බීලද?"එක පොලිස් අයියා කෙනෙක් ඇහුව."පිස්සුද අයියේ කටේ තියල නැහැ"මාත් හෙන පොර වගේ දුන්න උත්තර.වෙලාවට පොරට මීටර් උනේ නැහැ වැඩේ.ඒ අස්සේ එරිනය පොලිසියට ටෝක් කරනවා.මුන්ගේ තාත්ත පොලිසියේ ලොක්කෝ ටිකක් අදුරනව.දැන් මුගේ ගේම.
               "ඔයාගේ නම්බර් එක කියන්න.මන් තාත්තට එක කෝල් එකයි දෙන්නේ.දන්නවනේ එස්.එස්.පී............නේද?එය මගේ තාත්තගේ හොද යාලුවෙක්.මං නම් හිතුව මුට දැන් වැදුන දැන් වැදුන තමයි කියල.හිටපු පොලිස් අයියලත් තරුණයි.උනුත් අත ඇරියේ නැහැ.
              "උබල ඕනේ එකෙකුට කියපල්ලා.අපි ඕන දෙකට ලැහැස්තියි."මෙහෙම කියල බයික් එක පාර අයිනේ නතර කරපු පොලිස් අයියා කෙනෙක් බයික් එකේ යතුර අතට ගත්ත.ඊට පස්සේ කට්ටියත් එක්ක ආවා එතනම ටිකක් එහායින් තිබ්බ පොලිස් මුරපොල ලගට.ඇවිත් දැන් එතන ඉන්නවා.කොහොමහරි එක පොලිස්කාරයෙකුට මීටර් උනා අපි බීල ඉන්නේ කියල.දැන් පොලිස්කාරයෝ තුන්දෙනා කතා කරනවා අපිට කරන්න ඕනේ දේ ගැන.ඒ අතරේ එරිනය ආවා ලගට.මට එතකොට බයික් පදින්න බැහැ.(දැනුත් බැහැ ඉතින්),එරින් දිමන්තට කිව්වා,

             "මචන් මන් බයික් එක සිකියුරිටි ලොක් එකෙන් නියට්‍රල් කරලා දෙන්නම් උඹ අරන් පලයන්"කියල.දිමන්තයත්" හා "කිව්වා.ඉතින් එරිනය මොකද කලේ පොලිසියේ එවුන් අහක බලන් ඉන්න වෙලාවේ හිමිට පාර අයිනට ඇවිත් ඌ ගාව තිබ්බ රිමෝට් එකෙන් බයික් එකේ සිකියුරිටි ලොක් එක ඇරලා බයික් එක නියුට්‍රල් කලා.දිමන්තය ඒ අස්සේ හිමිට පාර පැනල බයික් එක අරන් මාරු උනා.හැබැයි බයික් එකේ යතුර පොලිසිය ළඟ.අපිට මොකද කරන්නේ කියල කතා කර ගත්ත පොලිස්කාරයෝ තුන්දෙනා ආව අපි ලඟට.මං හිතුව බඩුම තමයි කියල.ඒත් අපේ වෙලාවට පොලිස්කාරයන්ට දිමන්තය නැහැ කියල මතක් උනේ නැහැ.පොලිසියේ දෙන්නෙක් එරින්ව අරන් නැග්ග ත්‍රීවීල් එකක.තව එකෙක් ගිය බයික් එක අරන් එන්න.මට කිව්වා "තෝ යන තැනක පලයන් කියල".මමත් ඉතින් සියලු වැර කකුල් දෙකට දීල ආපු පාර දිගේම දිව්වා වීදුරු තුනත් විසි කරලා.මං දුවල එරින්ලගේ ගෙවල් පැත්තට යනකොට දිමන්තය එනවා බයික් එකත් පැදගෙන.ඒ ගමන මමත් ඒ බයික් එකේම එල්ලුනා.එරින්ලගේ ගෙවල් කිට්ටුව තියනවා ගැරේජ් එකක්.අපි දෙන්න බයික් එක හැංගුව ගැරේජ් එකේ.බයික් එක ස්ටාර්ට් කරන්න බැරි වෙන්න කෑල්ලකුත් ගැලෙව්වා.ඊට පස්සේ ගිය එරින්ලගේ ගෙදරට.අපි යනකොට උන්ගේ ගෙදරට වැඩේ ආරංචි වෙලා.ආරංචි නොවී තියෙයිද උන්ගේ ගෙවල් තියෙන්නේ පොලිසියට අල්ලපු වැටේ...ගෙදරට කියල තියෙන්නේ අපි  කුඩු ගහල කියලා.කාල වරෙන්කො.මුන්ගේ අම්ම අපිටත් බනිනවා දැන් හෝ ගල.ඒ මදිවට පටන් ගත්ත වැස්සකුත්.මමයි දිමන්තයි වැස්සේම ගිය පොලිසිය පැත්තට.පොලිසිය ඇතුලට යනකොට එරින්ලගේ තාත්ත ආව එලියට.අපි ගිය තාත්ත ලඟට."පුතා බයික් එක අතුරුදහන් වෙලාලු.බයික් එක හම්බ වෙනකන් එරින්ව එලියට ගන්න වෙන්නේ නැහැ" කියල තාත්ත කිව්වා.කොහොම හරි බයික් එක නැතිවෙලා කියල දැනගත්ත ගමන් පොලිසියෙන් මුට ගහල බයික් එක කෝ කියා කියා අහල.ඇයි ඉතින් යතුර තිබ්බෙත් පොලිසිය ළඟ. මොනවහරි උනොත් උන් එපාය වග කියන්න.එරිනයත් පොලිසියෙන් ගේම ඉල්ලලා"මං දන්නේ නැහැ .යතුර තිබ්බේ ඔයාල ගාවනේ.බයික් එක නැති උනොත් ඔයාල වග කියන්න.මට බයික් එකක් අරන් දෙන්න කියල" මූ කියල.
              දැන් මොනවා කරන්නද?මමයි දිමන්තයයි වැස්සේම බැස්ස පොලිසියෙන් එලියට බයික් එක ගේන්න කියල.පාරට එනකොටම අපි දැක්ක අපිව අල්ලපු පොලිස්කාරයෙක් බයික් එක තල්ලුකරගෙන එනවා.බලන්න දුකේ බැහැ.වැස්සට තෙමිලා හොඳටම.මුන් මුළු ටවුමෙම බයික් එක හොයල.ඒක දැක්ක ගමන් මමයි දිමන්තයි අනිත් පැත්ත හැරිලා මාරු වෙන්න හැදුව විතරයි" ඔහොම හිටපියවූ"කියල පොලිස්කාරය අපිව නැවැත්තුවා.ආව ලගට.
            "කොහොමද යකෝ ෂෙඩ් ඒක ගාව තිබ්බ බයික් එක ගැරේජ් එකට ගියේ?"මේකා ඇහුව.
            "අපි දන්නේ නැහැ සර්"අපිත් බොහොම අහිංසක විදියට යටහත් පහත්ව උත්තර දුන්න
         
  "එහෙමද.එතකොට බයික් එක පියාඹලා ගිය කියලද කියන්නේ?.හොදයි උඹල පලයල්ලකෝ.මං හොයා ගන්නම්"කියල පොලිස්කාරය ඇතුලට ගියා.අපිත් වැස්සේම වෙවුල වෙවුල පාර දිගේ එනකොට පොලිසිය ඇතුලෙන් බයික් එකක් ස්ටාර්ට් වෙන සද්දයක් ඇහුනා.අපි දෙන්න ඒ සද්දෙට දුවපු දිවිල්ල නතර කලේ කිලෝමීටර් ගානක් දුවල.කොහොමහරි ඊට පස්සේ දවසේ එරින්ව උසාවි දැම්ම.උසාවියෙන් 5000ක් දඩ ගැහුවා.උන්ගේ තාත්තගේ හැදුනුම්කමට එරින්ගේ ලයිසන් එක බේරුනා.ඔන්න ඔහොමයි උනේ.එදා බයික් එක ඉස්සුවේ අපි කියල අර පොලිස් කාරය දැනගත්තනම් අපි තාම ගුටි කනවා.ගුටි විතරක් නෙමෙයි හිරේ යන්නත් වෙනවා..........

Saturday, October 6, 2012

මේ තරම් සියුමැලිද කළුගල්



මගේ හිතට දැනුණු සින්දුවක් තමයි සුනිල් එදිරිසිංහ මහත්තය ගායනා කරන" මේ තරම් සියුමැලිද කළුගල් "කියන සින්දුව.මං ගීත විචාරකයෙක් නොවුනත් මට මේ සින්දුව ගැන මගේ හිතට දැනුණු දේවල් මේ විදියට ලියන්න හිතුන.

                            "  මේ තරම් සියුමැලිද කළුගල්
                               හිතන්නටවත් බැරි නිසා...
                               මා ගියා අවුකන බුදුන්ටත්
                               දෑස් දුන් මිනිසා සොයා.........."

ඇත්තටම කළු ගලකට මේ තරම් සියුමැලි බවක්,සජීවී බවක්,මේ තරම් හිත නිවන බවක් තියනවද?මේ කළුගලට එතරම් හැකියාවක් දුන්න කලාකරුවා එසේ මෙසේ කෙනෙක් වෙන්න බැහැ.ඉතින් මං ගියා ඒ අසාමාන්‍ය හැකියාවක් තියන කලාකරුවා හොයාගෙන..

                         "  කලා වැව ළඟ ඉලුක් හෙවනක
                            මැටි පිලක පැදුරක් එලා
                            රිදුම් පිරිමදිමින් බලයි ඔහු
                            මැරෙන උපදින රල දිහා...."

රාජ්‍ය ගෞරව ලැබිය යුතු කලාකරුවෙක්.අසාමාන්‍ය සොඳුරු හදවතක් තියෙන මිනිහෙක්.ඒත් දුප්පතෙක්.මං යන වෙලාවේ ඔහු හිටියේ තමන්ගේ පුංචි අතු පැලේ පිල මත එලා ගත් පැදුරක වාඩි වෙලා ඈත කලා වැවේ රල නැගෙමින් බිදෙමින් විසිරෙන හැටි බලාගෙන.ඔහුගේ අත් වල පිපිරුණු කරගැට පිරිමදිමින්.එතනට වෙලා ඔහු ජීවිතේ අනියත බව මෙනෙහි කරනවා.නොලැබුණු දේවල් ගැන ශෝකයක්වත් ලැබුණු දේවල් ගැන උදම් වීමක්වත් නැතුව.

                       " ඉසුරුමුණියේ නුඹ
තැනූ
                        පෙම්වතිය කොතනද කියා
                        මා ඇසූ විට හිනැහුණා ඔහු
                        තවම තනිකඩ යයි කියා....."

මේ තරම් සුන්දර මිනිහෙක් පෙම්වතා විදියට ඉන්න පෙම්වතිය කොච්චර නම් වාසනාවන්ත වෙන්න ඕනෙද?සමහර විට ඉසුරුමුණියේ කැටයම් කරපු පෙම්වතියගෙයි පෙම්වතගෙයි රූප මොහුගෙයි ඇගෙයි වෙන්න ඇති.ඉතින් මං ඇහුව ඔහුගේ පෙම්වතිය ගැන.එවිට ඔහු හිනාවෙලා ඈත රල දිහා බලල කිව්වා ඔහු තවම තනිකඩ බව.නමුත් ඒ කට හඩේ තිබුනේ ශෝකී බවක්.හරියට පරණ මතකයක් වසන් කරන්න හදනවා වගේ.සමහර විට කාලෙකට කලින් ඔහුටත් ඉන්න ඇති ඉසුරුමුණියේ පෙම්වතාට වගේම සුන්දර පෙම්වතියක්.යම්කිසි හේතුවක් නිසා ඇය ඔහුව දාල යන්න ඇති.කොහොම වෙතත් මේ  කලාකරුවාගේ හිත තවම කවුරුත් තේරුම් අරන් නැහැ.ඊට හේතුව ඔහුගේ හිත සියුමැලි උනත් ඔහු දුප්පතෙක් වීමද?ඔහු මේ තරම් දක්ෂ ලෙස කැටයම් කරන්නේ ඔහුගේ හිතේ ඒ තෙරපෙන වේදනාවද?එකට පිළිතුර දන්නේ ඔහුමයි.
                      මං ඔහුගෙන් සමු අරගෙන එන්න පිටත් උනා.ඔහුගේ පැල පෙනෙන නොපෙනෙන මායිමේදී  නැවත හැරිලා බලද්දී බැසයන හිරුගේ අවසන් රැස් දහර අතරින් මං දුටුවේ ඔහු තවමත් පිල උඩ වාඩි වෙලා ඈත රල දිහා බලන් ඉන්න හැටි..........



Friday, October 5, 2012

හන්තානේ කුරුල්ලන්ට



                                                  හන්තානේ කන්ද උඩින්
                                                  ඉගිල්ලෙනා කුරුල්ලෝ...
                                                  මහවැලි ගං ඉමේ ඉඳන්
                                                  ගී ගයනා කුරුල්ලෝ....

                                                 මං ගැන තොරතුරු විමසන
                                                 අම්මා අප්පච්චිලාට
                                                 යහතින් මං ඉන්නා බව
                                                 කියල වරෙන් කුරුල්ලෝ...
                                                 කැන්ටින් බත රහ නැතියයි
                                                 කියන්නෙපා කුරුල්ලෝ...

                                                උපාධියත් අරගෙන මං
                                               මෙහේ ඉඳන් ගම යන කොට
                                               අම්මාගේ ඇස් කොනකට
                                               කඳුළු නැගෙයි කුරුල්ලෝ...
                                              අම්මාගේ වයස දැකල
                                              මගේ පැහුණු කෙසුත් දැකල
                                              එතකොට නම් මට හරියට
                                              දුක හිතේවි කුරුල්ලෝ....
------------------------------------------------------------------------------------
මං බැලුව මගේ පොස්ට් වල no title කියල තියෙන්නේ ඇයි කියල.බලද්දී මමනේ title එක දාල නැත්තේ.ඒ වැරැද්ද හැදුව හොදේ......
                                                          මගේ ජීවිතේ      


                           
 පුටුවක් උඩ වාඩි වෙලා ඔහේ කල්පනා කර කර ඉන්න වෙලාවේ මට රත්න ශ්‍රී මහත්තයාගේ "වස්සානේ"කියන කවි පන්තියේ තිබ්බ කවියක් මතක් උන.
                 "ගිම්හානයේ ගිලන්වී කෘෂව සුදුමැලිව
                  ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
                  දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
                  කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස"
ඇත්තටම මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ අමාරුම කාලයක්.කැම්පස් වහල අදට මාස තුනකටත් වැඩියි.මට මතකයි ගිය අවුරුද්දෙත් මේ වගේම මාසෙකට වැඩිය කැම්පස් වහල තිබ්බ.කොහොම හරි මේ වෙද්දී මගේ ජීවිතේ මාස හයකට වඩා නිරපරාදේ ගතවෙලා ගිහින්.මගේ වයසේ අපේ උන් ගොඩක් මේ වෙද්දී ජොබ් කරනවා.මාත් එක්ක එකට ඉස්කෝලේ පිස්සු කෙලපු සමහර කොල්ලෝ තාත්තල වෙලා.සමහර කෙල්ලෝ අම්මල වෙලා.එත් මම තාම එක තැන.අම්මල තාත්තලාගෙන් කකා බිබී ගෙදරට නාකි වෙනවා.මේ දවස් ටිකේ අතේ සත  පහක් නැහැ.සිගරට් එකක් දැක්ක කාලයක් මතක නැහැ.කැම්පස් එකේ හිටියනම් සල්ලි නැතත් කාත් එක්ක හරි සෙට් වෙලා සිගරට් එකක්වත් ගහන්න තිබ්බ.සිගරට් නැත්තන් දේශීය නිෂ්පාදනයක්වත් හොයා ගන්න තිබ්බ.ගමේ කොල්ලොත් දැන් ගෙවල් වල නැහැ.ඔක්කොම වගේ ජොබ් වල.සෙට් වෙන්නේ සති අන්තෙට විතරයි.එත් හැම තිස්සෙම උන්ගෙන් පිනට කන්න බොන්නත් බැහැ.අනේ මන්ද මගේ ජීවිතේ.....
                කොහොමත් කැම්පස් එකෙන් අවුට් වෙන කොට තව අවුරුදු දෙකහමාරක් තුනක්වත් යයි.ඊට පස්සේ ජොබ් එකක් හොයන්න ඕනේ.අපි වගේ ආර්ට් කරපු එවුන්ට ඉතින් ජොබ් හම්බ වෙන හැටි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඒ ඔක්කොම ඉවර වෙලා පිළිවෙලක් වෙන කොට මගේ හොද පන ගිහින් තියෙයිද කියලයි මට බය.ඇත්තටම මට මං ගැන දුකක් නැහැ.මට දුක මගේ අම්මයි,අප්පච්චියි ගැන.එයාල මං නිසා තවම දුක් විඳිනවා.මට ඕනේ එයාලගේ අන්තිම කාලේ හරි එයාලව සන්තෝසෙන් තියන්න.අන්න ඒටික මට කරගන්න පුළුවන් උනොත් මට හොඳටම ඇති....
          
              

Wednesday, October 3, 2012

                      
       බිඳුණු පෙම් යුවල
ඉසුරුමුණි පෙම් යුවල බිඳිලා
පෙම්වතී නැහැ පෙම්වතා ලග
         කල්ප කාල යුග බැඳ ආ සෙනෙහස
  අතැර දා ඇය දුර ගිහිල්ලා.......
            
ආදරෙන් ඔහු වෙතට ලංවී
     රහස් සවනට කොඳුරලා කියූ
පෙම්වතිය දුර ඇදී ගිය සඳ
         පෙම්වතා අඳුරේ තනිව ඇත........

ආදරේ නාමෙන් සදාකල්
      එක්වූ අතැගිලි වෙන්ව ගියමුදු
     ඇය යලිත් එනතුරා මා වෙත
                මග බලාගෙන ඔහු හිඳිනු ඇත.......  

Tuesday, October 2, 2012


අභිසාරිකාව සහ  ස්වාමියා
සඳුට හොරා මේ නිශාන්තයේ
                   සැනසුනේ කිම තව කෙනෙකු තුරුලේ ...?
                  සැතපුනේ කිම තව කෙනෙකු යහනේ...?
                                          ලොවට හොරා සැතපුනත් මා තව කෙනෙකු යහනේ
                   සැනසුනේ නැත මා ඔහුගේ තුරුලේ
                  නෙතු පියන් පියා මා සිටිය රෑ යාමේ
                        සිහිනයෙන් පවා ඔබේ රුවය් මා දුටුවේ
   මගේ හිමි සඳුනේ.......... 
 අගහිඟකම් දෝරෙ ගලා
              යන විටදී ලිප ගිනි දැල්ල නිවලා
ඔබේ ගත මස
  මිල කලේ කිම
        මගේ සෙනෙහස අඩුවීද, මට
කියන් පිය ලදුනේ....?
                             අඩන විට අපෙ පැටවූ බඩගින්නේ
                      කෝටියක්  දෙවිවරුන් සිටියද
               නොමැත එය ඇසුනේ....
                               මා විසින් රැකි පතිදම් බෙලෙන්වත්
             නොමැත සෙත සැදුනේ
                         උන්ගෙ කුසගිනි නිවනු පිනිසය්
                               මගේ ගත මස රුහිරු මිල කෙරුවේ
                           ඔබේ සෙනෙහස මහමෙරකි මට
                     මගේ හිමිසඳුනේ.....
    සීතාව ලෙස පතිදම් නොරැකි  හින්දා
ගිනි දෙවිඳු අබියස සිටිමි හිස හංගා
  ලෝකයෙන් මට ලැබෙය් නවනින්දා
    හිමිසදුනි,මට කල හැකිද අනුකම්පා....?
-----------------------------------------
          ගිනි දෙවිඳු හට ඔබ කෙලෙස බිලි දෙන්නේ
සීතාව ලෙස මට ඔබ අගෙය් ළඳුනේ
        කිරි මවුන් දහසක් වැනිය ඔබෙ සෙනෙහේ
     මව නුඹය මගෙ පුංචි පැටවුන්ගේ..........
                         ලෝකයෙන් අද ලැබෙනමුත් නින්දා
                        කමක් නැත මට නුඹ මගේ හින්දා
                               බිඳු කඳුළු පිස නෙත් අඳුන් මැකි දෑසේ
                                          දල්වන්න සොඳුරිය  නිවුණු ලිප ගිනි දැල්........

ආදරණීය අම්මාට

මැෂින් එකේ ඉදිකට්ටට
තුවාල උන දබරගිල්ල
වෙලාගෙන රෙදි පටින්
   නුඹ  මහන්නේ
        මගේ ජීවිතයය්....
    දණහිස අමාරු
       කොන්දේ අමාරු
        හැමදේම ඉවසන්
             ඔය පාරමිතාව පුරන්නේ
            නුඹට  බුදුවෙන්න නොව
             මාව රජ කරන්නය්........
        සසර ඇවිදින තුරු
       බැරි වේවි මටනම්
            නුඹ විසින් ඉහිලු බර
                  ගෙවා නිම කරන්නට.....
  






Monday, October 1, 2012

                                
      හුදෙකලා සිතුවිලි
   හන්තාන කන්ද සේ සිහින සිත දරාගෙන
මහවැලිය ගං දෑල හිදිමි මග බලාගෙන
මා අතැර දම ඔබ ගියත් අද දුර බෝම
         ආදරෙය් කුමරියේ පෙර සේම මා තාම.......
           
  ඔබේ හද පුදසුනේ පුදකලෙමි ජීවිතය
    පයට පෑගී වැටුණි මගේ මුළු ලෝකයම
                වැටෙන කඳුලැලි මගේ දෙකම්මුල් තෙමාගෙන
               පැන් පොදක් වුව මැනව ඔබේ හද නිවාලන.....
 
ඈත්වී යන නමුදු අද මගේ හිත දවා
              සාප නොකරමි ඉතින් රැයේ සිහිනෙන් පවා
                මතු මියෙන දිනක යලි ආවොතින් මා සොයා
          ඔබට ඇති ආදරය කියන්නම් කෑගසා......
                                      

Saturday, September 29, 2012


                                                            කුරුටු ගාමි
                                                            හිතට එන සිතුවිලි
                                                            මේ බ්ලොග් පිටුව
                                                            පුරාවට.......